Sunday, June 3, 2018

නිකිණිවැස්ස සිනමාපටයේ විචාරය



කිසිදාක පොලොව නොතමන වැස්ස   
                             (Rain That Never Krisses Earth)

අරුණ ජයවර්ධනයන්ගේ කුළුදුල් සිනමා නිර්මාණය වන නිකිණි වැස්ස ආරම්භ වන්නේ එමතේමා පාඨය  සමගිනි. වියලි කලාපයේ වාසය කරන්නන් මුහුණදෙන ප‍්‍රධාන අර්බුදයන්ගෙන් එකක් වන ඉඩෝරයේ කටුක බව ඹස්සේ අරුණ ජයවර්ධනයන් එම තේමා පාඨය යොදා ගත්තා විය හැකිය.

මා මෙම චිත‍්‍රපටය විචාරය කරීමට පටන් ගන්නේ අතිශය සුබවාදී සිතුවිල්ලක් හිතේ තබාගෙනය. හේතුව වුයේ මෙම චිත‍්‍රපටයේ නමේ සිට සෑම අංගයක් පුරාවටම පැතිරී තිබෙන අපූර්වත්වය හා සුන්දරත්වය නිසාවෙනි. නම නිකිණි වැස්ස  වූ එහි ප‍්‍රචාරක වැකිය වූයේ  ර්‍ණමහ පොළොවට අහිමි වැහි බිදු” යන්නයි. නිිකිණි යනු අපේ විදියට නම් අගෝස්තු මාසයයි . එහෙත් අගෝස්තුවේ වැටෙන වැස්ස මහපෙළොවට අහිමි වන්නේ කෙසේද? එනම් ජුනි සැප්තැම්බර් යනු නිරිත දිග මෝසම් අනෝරා වැහි වැටෙන කාලයයි. එහෙත් නිරිත දිග මොසමින් රටේ එක පැත්තක් මහ වැසි වලින් තෙමෙද්දි තවත් පැත්තක් ඉඩෝරයෙන් බැට කති. එනම් ශුෂ්ක කලාපයයි. එලෙස බැලූ විට ශුක්ෂ කලාපයට නම් මෙම කතාව කදිමෙට ගැලපෙති. අගෝසතු යනු ශුක්ෂ කලාපීය වැසියා ඉඩෝරයෙන් බැට කන කාලයයි. එහෙයින් එම කාලයට වැටෙන වැහි පොදක් යනු ඔවුන්ට කොතරම් බලාපොරොත්තු දනවනනක්ද යන වග අමුතුවෙන් කිව යුතු නොවේ . කෙසේ වෙතත් දුක වැඩි වනුයේ ඉඩෝරයෙන් බැට කෑවද ඇතැම් වෙලාවට අහස වලාකුළු වලින් බරව හෙන හඩ පුපුරුවමින් වැස්ස ගැන උපරිම බලාපොරොත්තු ඒ අහිංසක සිත් තුළ ඇති කර ඉහළ අහසේ හමන උඩු සුළග ඒ වැහිවළාකුළු ඈතට රැුගෙන යමින් එමින් නික්මෙන එකු වැහි බිදුවක් වත් ශුක්ෂ කලාපීය පොළොවට පතිත නොවීමයි. 

චිත‍්‍රපටයේ අන්තර්ගතය වන්නේද කවදාවත්ම ඉටු නොවන බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවත් වෙන සාපේක්ෂව වෙනස් වු සමාජීය භූමිකාවක් රග දක්වන ගැහැනියක් වටා ගෙතුණු කතාවකි.එම බලාපොරොත්තු ගොන්නද හරියට නිකිණි මාසයේ ශුක්ෂ කලාපයට වැටෙන (වැටෙනවා යැයි සිතෙන නමුත් කිසි දාක නොවැටෙන* වැහි බිදු සේය. එම වැහි බිදු මහ පොළොව සුසුම් ලද්දී කතාවේ කතා නායිකාව වන සෝමලතා තමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්්් සුසුම්ලති. නමුත් ඒ දෙවර්ගයම කිසිදා ඉටු නොවෙති. සිනමා සිත්තමක තිබිය යුතු අර්ථපූර්ණ බවට වෙන උදාහරණ  කිව යුතු නොවේ . අරණ ජයවරධනයන්ගේ කුළුදුල් චිත‍්‍රපටය වන මෙහි මේ සිට රස බෙදා ඇත්තේ එලෙසය.

මව් අයිතිය පෙරලා දැමීම ස්ත‍්‍රි වර්ගයාගේ ජගත් ඓතිහාසික පරාජයකි. ගෘහ පාලනයනද පුරුෂයා අල්ලා ගත්තේය. ස්ත‍්‍රිය අවමානයටද වසගයටයද ලක් විය. අද පුරුෂයාගේ කාම තණ්හාවට යට වූ වහලියෙකි. දරුවන වැදීමේ යන්ත‍්‍රයක් පමණී. පෙඞ්රික් ඒංගල්ස් විසින් ඉහත ප‍්‍රකාශය කරන ලද්දේ මීට වසර 129 ඉහතදීය. අද අප පා තබා සිටින්නේ 21 වන සියවසයටය. එහෙත් ඔහුගේ ප‍්‍රකාශය අදටත් අඩු වැඩි වශයෙන් වලංගුය. 

කාන්තා පීඩනය පිළිබදව නිමවුණු කලා නිර්මාණ ඔබ අප රසිවිදි ඇතුවාට සැක නැත. එනම් සාහිත්‍ය , නාට්‍ය , සංගීතය , ටෙලි නාටක සහ සිනමා නිර්මාණ ආදියෙනි. ඒ  සියලූ නිර්මාණ තුළින්්ම අප අතවිදි සමපාත අත්දැකීමක් වන්නේ කාන්තාවට උරුම  වු වෘත්තීන් පමණක් නොව පුරුෂයන්ට පමණක් උරුම යැයි සම්මත රැුකියාවන්හි නියුතු කාන්තාවන්ද හමු වීමය. එහෙත් මෙතෙක් ඔබ අප අත් නොදුටු ඉසව්වක් කරා කාන්තාව ස්ථානගත කරන්නට උත්සහ කළ සිනමා පටයක් ලෙස අරුණ ජයවර්ධනයන්ගේ නිකිණි වැස්ස හැදින්විය හැකිය. 

විවිධ කලානිර්මාණ තුළින් මෙතෙක් අප හමුවට පැමිණි සියලූ කාන්තා චරිත අභිබවා යන්නට නිකිණි වස්ස නිර්මාණයේ සෝමලතාගේ චරිතය සමත් වන්නේ ඇය මිනී එම්බාම් කරන්නියක වන හෙයිනිි. එය පුරුෂයන්ට පමණක්ම සීමා වූ වෘත්තියක් ලෙස සම්මතයක් පවතී. අධ්‍යක්ෂවරයා තෝරා ගන්නා ප‍්‍රස්තුතය සම්ප‍්‍රදාය අභියෝගයට ලක් කරන්නට සමත් විය. මෙහි කතා නායිකාව සියලූ අභියෝග ජය ගන්නට ප‍්‍රයත්න දැරුවද පූරුෂ මූලික සමාජය ඉදරියේ ඇය අවලංගු කාසියක් බවට පවත්වන්නේ සමස්ත ස්ත‍්‍රි වර්ගයා කෙරෙහිම පවතින සමාජාකල්ප තවදුරටත් තහවුරු කරමිනි.

සෝමලතා වියැකී යන තාරුණ්‍යයේ පසුවන ධෛර්ය සම්පන්න ගැහැනියකි.  චිත‍්‍රපටය ඇගේ ධෛර්ය ප‍්‍රකට කරන්නේ ඇගේ පියාගේ අභාවයෙන් පසුව පියා විසින් ගොඩ නැගු ව්‍යාපාරය නොකඩවා කරගෙන යෑමට ඇයගත් තීරණයෙනි. චිත‍්‍රපටය ඇරඹෙනුයේ මල් ශාලාවක්  ඇතුලත දර්ශනයකනි. ඇගේ ධෛර්ය අසාමාන්‍ය වන්නේ ව්‍යාපාරය මල් ශාලාවක් පවත්වා ගෙන යෑම නිසාවෙනි. සාමාන්‍යයෙන් එය අප සමාජයේ කාන්තාවන් රග දක්වන භූමිකාවක් නොවේ. හිත හයිය යැයි කියන පිරිමින් මිනියක් එම්බාම් කරද්දී පදමට රත් වන්නට දෙකක් දා ගනිද්දී ඇය මීවිතයකින් තොරව එම කටයුත්ත කරනුයේ කිසිම පැකීලිමකින් තොරවය. ඇගේ චනරිතය අභියෝගාත්මක වන්නේ එහෙයිනි. ඇගේ ව්‍යාපාරය නිසාම ඇයගේ විවාහ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වන්නේද නැත. ඇයට බැලූම් හෙලන ඇයට ප‍්‍රිය කරන පිරිමින් බොහෝය. නමුත් ඔවුන් තුළ ඇය කෙරෙහි වන අකමැත්ත බොහෝ වැඩිය. නමුදු විය යුතු පරිද්දෙන් කවදා හෝ දවසක තමන්ව තේරුම්ගත් කෙනෙකු තමන්ට හිමි වේවිය කියන අහිංසක බලාපොරොත්තුව ඇයගේ හිත තුළ පැලපැදියම් වී තිබුණි. ඇගේ වියලි කතරට වැටෙන පිනි වැස්ස වුයේ බිමල් ජයකොඩිය. සෝමලතාගේ සිහිනය වුයේ කවදා හෝ දවසක තමන්ගේ ගමට ආදාහනාගාරයක්  පරත්‍යාග කිරීමය. එහි සැලසුම් කරු හෙවත් ගෘහනිර්මාණ ශිල්පයේ චරිතය බිමල් රග දක්වනු ලබයි. එහෙයින් කතාව පුරාවටම සෝමලතා තමාගේ හිතේ බිමල් කෙරෙහි වන කැමැත්ත පලකරන්නට දක්වන ඉගි බිගි බොහෝය. එහෙත් එම ඉලි බිගි බිමල් තේරුම් ගත්තේද යන වග කතාව ඉවරවන තුරුත් සෝමලතාට ප‍්‍රශ්නයකි.

කතාවේ කලූ චරිතය වන්නේ මැල් මුදලාලීය. ඔහු තවත් මල් ශාලා කරුවෙකි. තමන්ගෙ පැවැත්මට ව්‍යාපාරයට එල්ල වන අභියෝග හොදින් බැරි නම් නරකින් ඉටු කර ගැනීමට පසුබට නොවන්නෙකි. ග‍්‍රාම සේවකද එවැනිම චරිතයකි. සොමලතාගේ මසට ඉව අල්ලන තවත් එක් ගිජු ලිහිණියෙකි. කතාවේ එන තවත් චරිතයක් වන්නේ පියදාසය. එනම් සෝමලතාගේ රියදුරාය. පියදාස පියා මිය ගිය තරුණියක් සමග පලහිලව්වක් ඇතිකර ගනී. එම පලහිලව්වේ භාවාතිශය උච්චතම තැනදී පියදාස හර්ස් එක තුළ සිටම එම තරුණිය සමග රමණයේ යෙදේ. මෙය සෝමලතා දකී. ස්වාමි දුව ලෙස තමන්ගේ සේවකයාගේ විනය විරෝධී ක‍්‍රියාවට දඩුවම් දීමට තරම් බලයක් ඇය සතු වුවත් ඊට ප‍්‍රතිචාර දක්වන්නේ ඒ තරුණිය පියදාසට කරකාර බන්දා දීමෙනි. 

සොමලතාගේ විරුද්ධවාදියා ලෙස මල් මුදලාලිගෙන් ඇයට සේම පියදාස ඇතුලූ ඇගේ ගෝලබාලයන්ට එල්ල වූ තාඩන පීඩන බොහෝය. කතාව පුරාවටම දිස්වන්නේ ඇගේ අප‍්‍රතිහත ධෛර්යත් කිසිදාක ඉටු නොවන බලාපොරොත්තු ගොන්නත් සහ කෙළවරක් නැති බාධක සහ තාඩන පීඩන කීවොත් නිවරදිය. අන්තිමේදී තමාට අභියෝගයක් වූ මෙම යුවතිය සදහටම නිහඩ කරතැබීමට තරම් ඇයගේ විරුද්ද පාර්ශවය දරදඩු විය. එය අවසන් වන්නේ කූඨ ලෙස එම මරණයේ වගකීම බිමල්වෙත පවරමින්ය.

”මිනිස්සු කවදාවත් හිතන්නේ නෑ තමනුත් මැරෙනව කියල .හැමදාමත් හිතන්නේ මැරෙන්නේ අල්ලපු ගෙදර මිනිහ විතරයි කියල.” 

මෙහි ප‍්‍රධාන චරිතය ගතහොත් එනම් මෙහි කතා නායිකාව වන සෝමලතා යනු සමාජයෙන් දිගින් දිගට ප‍්‍රතික්ෂේප වන චරිතයකි. එලෙස සිදු වුයේ ඇය මිනී මරපු නිසාවත් මංකොල්ල කෑ නිසාවත් නොව ඇය මල් ශාලාවක අයිතිකාරියක් වු නිසාය. මිනී එම්බාම් කිරීම සමාජයේ කුමන පපුද්ගලයෙකු විසින් හෝ සිදු කළ යුතුය. නමුදු එය තමන් හෝ තමන් ඇසුරු කරන කෙනෙකු නොවිය යුතුය යන සමාජ කුහකත්වය ඇයට පෙරල පෙරලා පහර දෙනු ලබයි. ඒ කුහකත්වය කෙතෙක් දරුණුද යන වග ඇගේ දසුන පවා  ගම්මුන් අප‍්‍රිය කරති. එය හරි ලස්සනට ඉස්මතු කළ ඉස්මතු කළ අවස්තා කිහිපයකි.එනම් සෝමලතා බස් එකේ යන විට ඉදිරිපිට ආසනයේ ඉදගෙන ඈ වෙත බැලූම් හෙලමින් සිනා සෙන අත දරුවා , දරුවාගේ මව කිසිවක් නොතේරෙන අත දරුවා පවා අනිත් පැත්තට හරවා ගනු ලැබුයේ  එම හය හතර නොතේරෙන දරුවාට පවා ඇගේ දසුන දැකීම පවා මුසලකමක් වනවාය යන කියමන අගවමිනි.


සමාජයෙන් ඇයට එල්ල වන කඨෝර ප‍්‍රතිචාරයන් නිසා ඇතිවන කලකිරීම සේම සමාජය මරණය දෙස බලන ආකාරයත් ඒ තුළ වන ආත්මාර්ථයත් ඇගේ දෙබස් තුළ ගැබ් විය. සරලවම කිවහොත් අප් මැරෙනදාට අපි කැමති මොනම හරි පුද්ගලයෙක් අපිව එම්බාම් කර ගරුත්වයක් සහිතව අපිව මිහිදන් කරනවාට කැමතිය. එසේ සිතන විට එය කරන කෙනා ඉටු දෙවියෙකි. නමුත් මැරෙන්නේ අප නොවේ නම් ඒ කටයුත්ත කරන කෙනා අමුම අමු මූසලයෙකි. කොට්න්ම එම දසුන පවා අප‍්‍රිය ජනකය. සොමලතාගේ අභිප‍්‍රාය වනුයේ ආදාහනාගාරයක් ගමට හදා දීමටය. එම උත්සාහය මැල් මුදලාලි දකිනුයේ වෙනම ආකාරයටය.

”ගෑනි කපටියා .......ගෑනි හදන්නේ සිල් රෙද්දක් පොරවගෙනම මේ පළාතෙම මිනී ටික ගොඩ ගහගන්න”


එය ඇත්තය. සෝමලතා ව්‍යාපාරික කාන්තාවකි. එහෙත් ව්‍යාපාරයක් කිරීමට යන විට තිබිය යුතු සටකපටකම් ඇය තුළත් අඩංගු වුවා විය හැකිය. ඒ බව ඇය රෝහලේ මෝචරිය බාරව කටයුතු කරන නිලදාරියා හම්වෙන අවස්ථාවේ ඔහුට පවසනුයේ් 

”මම ඔක්කොම තුරුම්බු ටික ඉල්ලන්නෙ නෑ හැබැයි මට ටිකක් වැඩි පුර  ඕන...”


යන වචනය පවසමිනි . කොටින්ම ප‍්‍රානය නිරුද්ධ වු මලකදකට රුපියල්්් ශත වෙනුවෙන් මල් ශාලා කරුවන් කේවල් කර ගන්නා ආකාරය ඒ දෙබස තුළත් දර්ශනය තුළත් ඉතා හොදින් කියවේ.  තනි වුන ගැහැනියක් අවිවාහක ගැහැනියක් මොනයම් හෝ කාරනාවකට රාජ්‍ය නිලදාරියෙක් වෙත ගිය විට මුහුණ දෙන  අපහසුතාවය සෝමලතාද මුහුණ දුන්නේය. එනම් ආදාහනාගාරය තනන්න ග‍්‍රාම නිලදාරියාගෙන් ගත යුතු ලිපි ලේඛන ටික ගැනීමට ගිය විටය. එතනදී ඇතිවන දෙබසද හරිම අපූරුය. මෙම චිත‍්‍රපටයේ තිබු විශේෂත්වය වුයේ ව්‍යංගය කැටි වු උපමා රූපක සහිත වීමය. එනම් 

”ග‍්‍රා.නි -  මේ වැඩ ඉතින් වෙන විදිහක් තියෙනවා
සෝමලතා -  ඔහෙට කීයක්  ඕනෙද මේක කරල දෙන්න
ග‍්‍රා.නි   -     මට ඔය මොනරු වැඩක් නැහැ සොමලතෝ පිල් විහිදෙන මොණරුන්ට වඩා සෙබඩ ජෝඩුවක් අත් දෙකට ගන්න මම හරි කැමතියි. 
සෝමලතා -   අහල තියෙනවද මොනරු කෑ ගහන සද්දෙ 
ග‍්‍රා.නි  -  ඒ මුසල සද්දෙට මම හරි ආදරෙයි සෝමලතෝ ”

එම වචන හුවමාරුව තළ සෝමලතා පත්වන අපහසුතාවයක් එහි ව්‍යංගයක් අමුතුවෙන් කිව යුතු නොවේ. නමුදු එම යෝජනාව ඉදිරියේ දනින් නොවැටෙන්නට තරම් සෝමලතා ශක්ති සම්පන්න විය. එතනින් පසු ග‍්‍රාම නිලදාරීට සෝමලතා වහ කදුරු වැනිය. එම අප‍්‍රසාදය ඉස්මතු වන තවත් තැනක් වන්නේ සෝමලතා වැවේ දිය නාන අවස්ථාවයි. එම අප‍්‍රසාදය ඉස්මතු වන තවත් තැනක් වනනේ සෝමලතා වැවේ දිය නාන අවස්ථාවයි. මේ අවස්ථාවේ ග‍්‍රාම නිලදාරීද එතනට එන්නේ දිය නා ගන්නටය. ඈතින් මාලූ බාන ඔරුවකි. ග‍්‍රාමනිලදාරී එනවත් සමගම සෝමලතා රෙදි බාල්දියත් අරගෙන ලෑස්ති වෙමින් සිටී. එවිට ග‍්‍රාමනිලදාරී කෑගහල අර ඈත තබෙන ඔරුවට කියනුයේ 

"අද මේ ගොඬේ මාලූ බාල වැඩක් නැහැ බොල පුලූටු ගදට උන් ඔක්කොම එහා ඉවුරට ගිහිල්ල.එහෙට ගිහිල්ල බාපිය.”

ඇනුම් පදය වටහා ගත් සෝමලතා ඉක්මන් ගමනින් එතනින් පිටතට යති. ඒ අතර ග‍්‍රාමනිලදාරී අසන්නේ  ර්‍ණආහ් සෝමලතෝ නාගෙන වගෙයි  ර්‍ණ. යනුවෙනි. ග‍්‍රාමනිලදාරින්ගෙන් එල්ල වනුයේ උපහාසය කැටි වු ඇමතුමකි. නැහැ එම්බාම් එකක් කරා ඔහෙටත්  ඕනද යනුවෙනි. සෝමලතාගේ ප‍්‍රතිප‍්‍රහාරය එල්ල  වුයේ එලෙසය. 

එලෙස දිය නාගෙන එන අතරමගදී තමාගේ හර්ස් එක අයිනක තියෙන වන ලැහැබක නවතා තිබෙනු සෝමලතා දුටුවේය. එයට කිට්ටු කර බලන විට හර්ස් එකේ පිටුපස කොටසෙහි පියදාසයි එයාගෙ පෙම්වතියයි හරි හරියට වැඩය. මෙම දර්ශනය සෝමලතාව කැළඹුවේය. තාරුණ්‍යයේ හැගීම් කාලය විසින් යටපත් කොට තැබුවද අවස්ථාවක් ලද විට ඒ සියල්ල ඇවිස්සී එන්නේ අළු යට සැගවුණු ගිණි පුපුරක් සේය. ඒ හැගීම් තුළ ඒ දර්ශනය තුළ තිබෙන ප‍්‍රබල බව කතාවේ ඉස්මතු කෙරෙනුයේ එරි අපූරු දර්ශනයකිනි. රාගයේ සිතුවිලි පහස තනිව විදගැනීමට සෝමලතාට ඉඩ ලැබෙනුයේ කොතනද එතැන සුදුසු නුසුදුසු බව තකන්නට ඇය පෙළබෙන්නේ නැත. දහසක් මිනී එම්බාම් කරන්න කලින් අවයව ඡේදනය සිදුකරද්දී වැතිරී සිටි සිමෙන්ති බැම්ම මත වැතිරී ඇය තම සිතුවිලි පහසේ තනිවනුයේ ඒ අනුවය.

මෙහි පියදාස හෙවත් සෝමලතාගේ රියදුරු චරිතය කතාවේ එන ප‍්‍රබල චරිතයකි. ජීවිතයම මලගෙවල්වල සහ මිනී එක්ක ගෙවන චරිතයකි. මරණය මිනිය පෙට්ටිය ඔහුට කොතරම් නම් සාමාන්‍ය දෙයක්ද කිවහොත් ඔහු නි්දහස් වෙලාවටද සැහැල්ලූවෙන් උරුවම් බානුයේ පවා පෙට්ටියක් මත වැතිරී දෙපැත්තෙන් තියෙන පෙට්ටිවලට  කප්පුලමිනි . තවද විටින් විට එකතු කර ගත් සොච්චමක් ඔහුගේ අනෙක් අඩුම කුඩුම ටිකත් ඔහු දා තිබුයේ මිනී පෙට්ටයක් හැඩයට හදාගත් හුරුබුහුටි ලීපෙට්ටි පොඞ්ඩකය. 

සියගණන් මිනී වලවල් කපපු  සිය ගණන් මිනී එම්බාම් කළ පියදාසට මරණයේ කටුකත්වය දැනෙන්නේ තමන් අලූත විවාහ කරගත් තරුණිය තම ආදරණිය බිරිද ගැබිනියක්ව සිටියදී අලියකුගේ ප‍්‍රහාරයකින් අකාලයේ මිය යද්දීය. අනිත් මිනිසුන්ගේ දුක හා අපි බලන විදිහත් ඒ ව්‍යසනයටම අපි බදුන් වෙද්දී අපිට දැනෙන විදිහත් ඒ අවස්ථාව මනාව අපට කියාපාති. තමන්ගෙ කිට්ටුවන්තයෙක්ගෙ චිනිය තමන්ට එම්බාම් කරන්න වීම කෙතරම් නම් කටුකද ? ඒ කටුකත්වය පළමුවතාවට සෝමලතාද මුහුණ දෙනුයේ පිදාසගේ බිරිදගේ මරණයත් සමගය. මරණයෙන්පසු පියදාසට ඇයව සිහි වීමට පාදක කරගත් දේවල් හරිම සුන්දරය. උලූ අස්හෙි ගසා තිබු බීඩි එතිමට ගත් පන් පැදුරත්, හවසට එන තුරු  මග බලා සිටි පාන් බනිස් රැුගත් රථයත් පිදාසට ඇයගේ නිරුවත නැවත සිහිකැදෙව්වේය. තරුණියක් බීඩි ඔතනවා යන කාරනයම ඈ මුහුණපාන ආර්තික දුෂ්කරතාවය පෙන්නුම් කරන සාධකයක් විය. ඒ ආකාරයෙන් දිවි සරි කරගත් ඇය තමන් බීඩි එතුපන් පැදුරේ එකම එක බීඩියක් තම ස්වාමියාට  ඉතිරි කර නික්ම ගිහින් තියෙන ආකාරය හරිම සංවේදනියය.

මිනිස් සමාජයේ තිබෙන වත් පිිළිතේ සේම විශ්වාසයන්ටත් ඇතැම් අවස්ථාවලදී සියුම් ලෙස පහර දීමට අරුණ ජයවර්ධනයන් නොපසු බට වී ඇත්තේ ඒ ඒ කාරණා හරහා අපුරු උපහාසයක් උපත්පාදනය කරමිනි. එක්තරා අවස්ථාවකදී බාගෙට හදාගෙන යන ආදාහනාගාරයට මැල් මුදලාලීගෙ පිරිස කඩා වැදී ඉදිවෙමින් පැවති ගොඩනැගිල්ල බිමට සමතලා කරති. මෙම අවස්ථාවේ අන්ත අසරණ වන සෝමලතා පියදාස සමග දේවාලයට යන්නේ මෙය කරපු උදවියට දොස් ඉල්ලා පොල් ගැසීමටය.

චිත‍්‍රපටය අවසානයේ සෝමලතා මරණයට පත්වද්දී පියදාස ඒ පිළිබදව තම හැගීම් සමුදාය මුදාහරින ආකාරය ඉතාම සංවේදනීය. අවස්ථා ගණනකදී ඇය මංගල දැන්වීම් යැවූ ලිපි වලට ලැබුණු සාර්ථක ලිපි සියල්ල ඇයට නොදී අසාර්ථක ලිපි පමණක්ම ඇයට ලැබෙන්නට සලස්වන්නේ ඇය කෙරෙහි බැදුනු පේ‍්‍රමණිය සිතුවිල්ල නිසාය . නමුදු තම ස්වාමි දුව කෙරෙහි ඇති්වන පේ‍්‍රමය අප‍්‍රකාශිත පේ‍්‍රමයකි. එහෙයින් ඇයගේ මරණයෙන් පසුවද තවත් එම ලියුම් සගවාගෙන සිටීමෙන් ඇති පලක් නැති නිසාම පියදාස තමන්ගෙ දුක කෝපය පිට කරනුයේ එම ලියුම් ගොන්න කෑලි කෑලි වලට ඉරා දමමිනි. සමහර විට ඒ දුක තුළම ඇයට විවාහ ගිවිස ගැනීමට ඉඩ දුන්නේ නම් ඇයට මෙම ඉරණම ඇති් නොවෙන්නට ඉඩ තිබුනා යන වරදකාරී හැගීමත් ඔහු තුළ ගැබ්වී තිබෙන්නට ඇත. 

චිත‍්‍රපටයේ රූප මාරු වීමට සමහර තැන්වල වර්ණවත් සැදැ අහසක්  සමග එක්ව යොදා තිබු උපක‍්‍රම ප‍්‍රශ්නකාරී වුවත් සමස්තයක් ලෙස ගත් කළ අධ්‍යක්ෂවරයාගේ රූප රාමු තෝරා බේරා ගැනීම ප‍්‍රශස්ථ මට්ටමක තිබුණා යැයි කිව හැකිය. චිත‍්‍රපටය පුරාම ගලා යන වියලි කලාපයට ආවේණික දුඹුරට හුරු බවෙන් ආතුර අදුර වර්ණ සහිත රූප රාමුවල සිට අතිශය වර්ණවත් රූප රාමුවකට  ඡේදනය වන්නේ එකම වතාවකදී පමණි. ඒ ඇසට නුහුරු  තරමේ දිදුලන එළියෙන් හෙබි පියසිරි හා මේනකාගේ හදිසි විවාහය වෙනුවෙනි. නුදුරෙහිම ඛේදනීය ඉරණමකට මුහුණපාන නව යුවතිපතීන්ගේ වඩා මගුල සදහා වන ඒ අලෝකය භාවිතය පේ‍්‍රක්ෂකයා ඇසට මෙන්ම බුද්දියටද කරණ ආමන්ත‍්‍රණයකි . මෙම  විවාහය මෙන්්ම චිත‍්‍රපටයේ ඇරඹුමෙහි පටන් කැමරාකරණය චිත‍්‍රපටයේ රමණියත්වයට මනා මෙහෙයක් ඉටු කර ඇතැයි පිළිගැනීමට තුඩු දෙන සාදක රැසක් වේ . සංගීතය චිත‍්‍රපටයත තුළ ලොකු දෙයක් කර තිබුනේ නැත.

සිනමාත්මක පාර්ශවයන් ගත් කළ අධ්‍යක්ෂවරයා අදාල සන්දර්භ මතු කරලීම සදහා අපූරු සංකේත භාවිතයක යෙදී ඇත. නිවාස සැලසුම් ශිල්පියා සහ සෝමලතා හමුවන එක් මොහොතකදී දුම් වැටිය පාගා නිවා දැමීම එවැනි එක් අවස්ථාවකි. එය ප‍්‍රබල අරුත් දනවන්නකි. රාග ගින්නෙන්් දැවෙන සෝමලතා ගත නිවා ගන්නට සැදී පැහැදෙන ආකාරය එකී සංකේත රූප හමුවේ දැනවේ.

මේ ආකාරයට මිනිස් සිත තුළ හටගන්නා අනේකවිද සිතුවිලිවලට අර්ථ සපයමින් අතිශය සංවේදී භාවප‍්‍රකාශනයන් තුළින් මිනිස් ජීවිත වල ඇතුලාන්තය ගවේශනයක යෙදෙමින් නිකිණි වැස්ස නිම විය.



ගීතිකා කෝණාර 
                                                                                   
















                                                                               












4 comments:

ආවර්ජනා